එයා මට වගේ ම කලාවටත් ආදරෙයි
නිලන්ති ඩයස්
නිලන්ති ඩයස් පුරා වසර ගණනක් තිස්සේ නර්තනයෙන්, රංගනයෙන් ප්‍රේක්ෂක සිත් වසඟ කළ යොවුන් තරුවක්. ඇගේ සිත ළඟත් යොවුන් වියේ සුන්දර සිහිනයක්
නැවැතිලා. ඒ හෙට දිනයේ පතිකුලයට පිවිසෙන බලාපොරොත්තුවෙන්.
ඒ සොඳුරු පැතුම ඉටුකර ගන්නට මේ දිනවල එහෙ මෙහෙ දුව පැන්නත් ‘රසඳුන’ සතුටු සාමීචිය අභියස ඇගේ ඒ සොඳුරු පැතුමේ සොඳුරු සිතුවිලි වදන් බවට පත් කරන්න ඇය පසුබට වුණේ නැහැ. මේ නිලන්ති වෙනුවෙන් ‘රසඳුන’ සතුටු සාමීචිය වෙන්වුණු රසබර මොහොතයි.
කලා දිවියේ තවමත් නිලන්ති කාර්ය බහුලයි වගේ?
“කලා කටයුතු සහ පෞද්ගලික කාරණා කීපයක් නිසාම කාර්ය බහුලයි තමයි. මේ දවස්වල ‘දුම්මල වරම’ වේදිකා නාට්‍යයේ රඟපෑම් කටයුතු වෙනුවෙන් වෙහෙසුණා. ඒ වගේ ම යුද්ධයෙන් ආබාධිත වුණු අපේ ම රණවිරුවන් වෙනුවෙන් පැවැත්වෙන ’Brave hearts’- තරු දිලෙන රැයක් ප්‍රසංගය වෙනුවෙනුත් වෙහෙසෙනවා.
එහි පුහුණුවීම් කටයුතු සඳහා පසුගිය දවස්වල සහභාගි වුණා. එය පැවැත්වෙන්නේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී යි. මෙය යුද හමුදාපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන ප්‍රසංගයක්.
ඇත්තටම අපේ රට දැය බේරගන්න ගිහින් ආබාධිත වුණු රණවිරුවන් වෙනුවෙන් සිදු කෙරෙන මේ සද්කාර්යයට දායක වෙන්නට ලැබීම සතුටක්. නළු නිළියන් නර්තන ශිල්පී ශිල්පිනියන් වශයෙන් අපි හැම දෙනාම මෙයට උපරිමයෙන් සහයෝගය දක්වනවා.
ඔබ දායක වුණු නවතම කලා නිර්මාණ මොනවාද?
“මේ දවස්වල නම් කිසිම නිර්මාණ කාර්යයකට අලුතින් එක්වුණේ නැහැ. මොකද මගේ විවාහයේ වැඩකටයුතු නිසා. නමුත් මම රංගනයෙන් දායක වුණු ‘රජාණෝ’, ‘තෑන්ක් යූ බර්ටි’ චිත්‍රපට දෙක රිලීස් වෙන්නට තිබෙනවා.
මෙගා ස්ටාර්ස් වේදිකාවේ ඔබත් කැපී පෙනෙන තරුවක් වුණා. නමුත් නොසිතූ මොහොතක ඔබට එයින් ඉවත් වන්නට සිදු වුණා. ඒ ගැන මොකද හිතන්නේ?
ඇත්තටම මෙගා ස්ටාර්ස් හරහා මගේ ගායනා කුසලතා එළිදක්වන්න මට පුළුවන් වුණා. නොසිතූ ලෙස නොසිතූ වෙලාවක එයින් ඉවත් වෙන්න සිදු වුණත් මට ගායනා කරන්න හැකි හඬක් තිබෙන බව එයින් තහවුරු වුණා. අනෙක මෙගා ස්ටාර්ස්වල වේදිකාව මතදී අපට ලයිව් සින්ග් කරන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. Recording එකක් යන්නේ. මේ නිසා මෙයට සහභාගි වූ දක්ෂයින්ට කිසියම් අසාධාරණයක් වුණා කියලා මට හිතෙනවා.
ඔබේ ජීවිතේ වෙනසක් සිදුවෙන්න යන බව ආරංචියි. මෙය ඇත්තද?
“ඔව්. මගේ විවාහ උත්සවයේ කටයුතු සඳහා මේ දවස්වල සූදානම් වෙනවා.”
ඔබේ අතගන්න මනාලයාගේ තොරතුරු දැනගන්න කැමැතියි?
“ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. ඔහු ජපානයේ ව්‍යාපාරික කටයුතුවල තමයි නිරතව ඉන්නේ. ඔහුගේ නම නිරෝෂන් ක්‍රිෂාන්ත.
ඔබට ඔහු මුණ ගැහුණේ කොහොමද?
“මම කුරුණෑගල නර්තන ප්‍රසංගයකට සහභාගි වුණු වෙලාවේදී එතැනට ඔහුත් පැමිණ සිටියා. එහිදී ඔහුව දැන හඳුනාගන්නට ලැබුණා. ඔහු කලාවට හුඟක් ආසයි. ආදරෙයි. මං හිතනවා කලා ක්ෂේත්‍රයේ මගේ ඉදිරි ගමන යන්න ඔහු මට සැබෑම ශක්තියක් වේවි කියලා.
නිරෝෂන් කොයි වගේ කෙනෙක් ද?
“මට හුඟාක් ආදරය කරන කෙනෙක් නිරෝෂන්. ඒ වගේ ම මම බලාපොරොත්තු වෙන ආරක්ෂාව, රැකවරණය නොඅඩුවම ඔහුගෙන් මට ලැබෙනවා. එයා හුඟක් හොඳ ගතිගුණ තියෙන කෙනෙක්.
කලා ක්ෂේත්‍රය පිළිබඳව ඔහු දරන මතය කුමක්ද?
“ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් වුණත් කලා ක්ෂේත්‍රයටත් ඇලුම් කරන කෙනෙක්. ඔහු මේ ක්ෂේත්‍රය තුළ මට නැඟී සිටින්නට ලොකු සහයෝගයක් දෙන ගමන් ම මේ ක්ෂේත්‍රය ගැන අවබෝධයක් ලබාගන්නත් කැමැත්තක් දක්වනවා.
විවාහයෙන් පසුව කලා කටයුතු සීමා වෙයිද?
“ඇත්තටම විවාහය කියන්නේ වගකීමක්. මේ නිසා ම අපේ රඟපෑම් යම් දුරකට සීමා විය යුතුයි කියා මම හිතනවා. හොඳ නිර්මාණ තෝරා බේරාගෙන රඟපාන්න ඉඩ කඩ ලැබේවි.”
ඔබේ අනාගත බලාපොරොත්තු?
“විශේෂ බලාපොරොත්තු නොතිබුණත් විවාහ ජීවිතේ හොඳින්, හැමදාමත් සතුටින් ගත කරන්න බලාපොරොත්තු වෙනවා.
තුෂාරි වික්‍රමසිංහ
ඡායා - ටෙනිසන් එදිරිසිංහ
Sorce : Rasaduna 19-07-2010